පාසලේ වමනේ දැමූ සිසුවිය ගැබ්ගෙන ඇතැයි කියා අස් කරලා


කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් මඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලක 10 වැනි වසරේ ඉගෙන ගන්නා සිසුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.


මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක ජීවත් වූ මෙම සිසුවිය ආහාර නොමැතිකම නිසා කුසගින්නේ පාසල් යන වාර ගණන අනන්තය. මීට දින කිහිපයකට පෙර උදේ ආහාරය නොගෙන මෙම සිසුවිය සිය පාසලට ගොස් සිටියදී වමනය කර ඇත. තවත් සිසුවියන් තිදෙනකු විදුහල්පතිනියටද මේ බව දැනුම් දී ඇත්තේ සිසුවිය ගැබ් ගෙන ඇති බවය.
කිසිවක් සොයා නොබැලූ විදුහල්පතිතුමිය වහාම විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනකුද සමඟ සාකච්ඡා කොට පැය කිහිපයක් ඇතුළත මෙම සිසුවියගේ මවුපියන් පාසලට ගෙන්වා සිසුවිය ගැබ් ගෙන ඇති බව පවසමින් විද්‍යාලයේ අස්වීමේ ලිපිය ලබාදී පාසලෙන් පිටත් කොට යවා තිබේ.

නිසි අධ්‍යාපනයක් සමාජ වටපිටාවක් නොමැති ඉතා අසරණව ජීවත් වන මවුපියන් දෙදෙනා රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දැරිය දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබේ.

විදුහල්පතිනිය සඳහන් කළ කතාව දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන්ට පවසා ඇත. වෛද්‍යවරුන් මෙම දැරිය දින කිහිපයක් තබා ගෙන පරීක්ෂා කර බලන්නට විය. වෛද්‍යවරුන්ගේ මතය වූයේ මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව නැති බවය.

දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී සේනානායක මහතා කියා සිටියේ නාරි හා ප්‍රසව වෛද්‍යවරියත් අධිකරණ වෛද්‍ය නිලධාරියාත් සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ බවත් එවැනි කිසිදු හානියක් මෙම දැරියට සිදුව නොමැති නිසා රෝහල මඟින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පවා පැමිණිලි කරනු ලැබූ බවයි.

සිසුවිය තවමත් දඹුල්ල රෝහලේ තබා ගෙන සිටින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා තවදුරටත් රෝහලේ තබා ගෙන සිටින බව වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.
දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පෞද්ගලිකව මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ළමා ආරක්ෂණ අධිකාරියට පවා පැමිණිලි කිරීම විශේෂත්වයක් විය.

මෙසේ අසාධාරණයට පත්වූ දැරියගේ මවුපියන් සොයා අප මඩාටුගම ඔවුන් පදිංචි ගම්මානයට ගියෙමු. ඉතා කුඩා නිවසෙක පදිංචිව සිටින මේ දැරියගේ මවුපියෝ දෙදෙනා කුලීවැඩ කරමින් මෙම දරුවා පෝෂණය කරති. අප එම නිවෙසට යන විටත් මවුපියෝ දෙදෙනා කුලී වැඩට ගොස් සිටියහ.
දැරියගේ මව වූ ඩී. එම්. සෝමාවතී (57) මහත්මිය කියා සිටියේ තම දියණිය පිළිබඳ පසුගිය 12දා විද්‍යාලයේ ගුරුවරයකු විසින් තමන්ට දුරකතනයෙන් කතා කොට පියාද සමඟ පාසලට එන ලෙස දැනුම් දුන් බවයි.

එහි ගිය පසු තම දියණිය ගැබිනියක වී ඇති බව දැනුම් දී පාසලෙන් රැගෙන යන ලෙස තමන්ට දැනුම් දුන් බවද ඇය පැවැසුවාය. එහෙත් තම දියණිය දැඩි සිත් වේදනාවෙන් එය ප්‍රතික්ෂේප කළද ගුරුවරුන් තනි මතයක සිටි බවද ඇය පැවැසුවාය. ඉගෙනීමට වඩාත් දක්ෂතා ඇති තම දියණියට විරුද්ධව යම් කිසි සිසුවියන් පිරිසක් සිදුකළ චෝදනාවක් නිසා තමන්ට දියණිය පිළිබඳව බලවත් දුකක් ඇති වූ බව ඇය කියා සිටියාය.
ගුරුවරුන් නඟන චෝදනාව නිසාම තමන් රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දියණිය දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. රෝහලේදී දුවගේ නිර්දෝෂී භාවය ඔප්පු වූ බවද ඇය හැඬ­ූ­ කඳුළින් පැවැසුවාය.

තමන්ගේ එකම බලාපොරොත්තුව තම දියණිය එම පාසලටම නැවත ඇතුළත් කිරීම බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
දැරියගේ පියා වූ එච්. බී. කිරිබණ්ඩා (66) මහතා කියා සිටියේ තමන් 2 වසරට පමණක් පාසල් ගිය බවත් තම බිරිය පාසල් නොගිය බවත්ය.
එහෙත් තම දියණියට ඉගැන්වීම සඳහා දෙදෙනා විශාල මහන්සියක් වන බවද වැඩිදුරටත් කියා සිටියේය.
එහෙත් අවසානයේදී තම දියණියට සිදුවූයේ කුසගින්න නිසා මෙවැනි තත්ත්වයකට පත්වීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දිනකට එක වේලකට පමණක් ආහාර සොයා ගන්නා බවත් මෙම පියා කීය. දැඩි ආර්ථික දුෂ්කරතා නිසා දියණියට සාධාරණය ඉටු කර ගැනීමට නොහැකි බවද ඔහු කීවේය.

මෙම දියණියට සිදුවූ විශාල අසාධාරණය නිසා කම්පනයට පත් මවුපිය යුවළ සඳහන් කර සිටියේ තම දියණිය සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරන බවය. එහෙත් වෛද්‍යවරුන් රෝහලේ සේවක සේවිකාවන් ඇයගේ මනස සුවපත් කරමින් සිටින බවද ඔවුන් දෙදෙනා කියන්නට වූහ.

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා මඩාටුගම අදාළ විද්‍යාලයේ විදුහල්පතිතුමිය හමුවීමට අපි ගියෙමු. එම විදුහල්පතිනිය විශේෂ ගමනක් ගොස් ඇති බව එහි සිටි ගුරුවරු පැවැසූහ. නියෝජ්‍ය විදුහල්පතිනිය යැයි පැවැසූ ගුරුවරියක හමුවන ලෙස එහි ගුරුවරුන් අපට කීවේය.
පසුව නියෝජ්‍ය විදුහල්පතිතුමිය බව කියූ ගුරුවරියක් අප ඉදිරියට පැමිණි අතර මෙම සිද්ධිය පිළිබඳ කරුණු විමසීය. ඇය එකවරම කියා සිටියේ එවැනි සිද්ධියක් විද්‍යාලයේ සිදුවී නොමැති බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාසල් පැත්තෙන් යම්කිසි ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ සිද්ධියේ තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය නිසා විදුහල්පතිනියට දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමක් කළෙමු. ඇය කියා සිටියේ මෙම සිසුවියගේ කල්ක්‍රියාව හොඳ නැති නිසා මේ තීරණයට පැමිණ විද්‍යාලයෙන් ඉවත් කිරීමට සිදු වී තිබෙන බවය. ඇය පිළිබඳව ලැබුණු නරක ආරංචි නිසා මේ තීරණයට එළැඹි බවද සිසුවියගේ පෙර වැරැදි ක්‍රියාමාර්ග රැසක් තිබුණු බව ඇය කීවාය.

මෙම සිසුවිය පාසලේ තබා ගැනීමට නොහැකි නිසා මවුපියන් විසින් සිසුවිය පාසලෙන් ඉවත් කර ගෙන ගිය බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ඇය සඳහන් කර සිටියේ මෙම සිසුවිය ගැබිනියක් බවට එම සිසුවිය විසින්ම තවත් සිසුවියන් දෙදෙනකු සමඟ සඳහන් කොට තිබූ නිසා මේ තීරණයට එළඹි බවය.

පාසලේ වමනේ දැමූ සිසුවිය ගැබ්ගෙන ඇතැයි කියා අස් කරලා පාසලේ වමනේ දැමූ සිසුවිය ගැබ්ගෙන ඇතැයි කියා අස් කරලා Reviewed by Shani View Home Design on October 31, 2017 Rating: 5

No comments